ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දී පැවැත්විය …

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (13) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රීක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

වයඹ සියලූම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සදහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්.බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සදහා එක්ව සිටියහ.