ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය …

දිළිඳුකම පිටුදැකීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 25 පස්වරුවේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසම සහභාගී වී සිටී මෙම රැස්වීමේ දී ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

එමෙන් ම ප්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලූ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා සඳහා කඩිනම් විසදුම් ලබාදීම ද සිදු විය.

කිතුල් ආශිත නිෂ්පාදන සඳහා නිසි වෙළඳපොළක් හිමි නොවීමෙන් පළාතේ කර්මාන්තකරුවන් මුහුණදී තිබෙන ගැටලූව පිලිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ඒ වෙනුවෙන් කුඩාව සිංහරාජ සංචාරක සේවා සහ කිතුල් නිෂ්පාදන ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ කාර්ගිල්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

ග්‍රාමශක්ති ජනතා සමිති ස`දහා ලබාදෙන පළමු වාරිකය වෙනුවෙන් වූ ප්‍රතිපාදන රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, දුනේෂ් ගන්කන්ද කරුණාරත්න පරණවිතාන, සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න, සුජිත් සංජය පෙරේරා, සන්දිත් සමරසිංහ, තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් සහ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.