ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යනු..

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනතාව අතරින් 6.7 % ක් පූර්ණ දුගීභාවයෙන් පෙළෙන බව ප්‍රකාශ වී තිබේ. දරිද්‍රතා මට්ටම එසේ සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින බව පෙනී ගිය ද, 2012/13 සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන කරුණක් නම්, දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ආසන්න තීරුවේ සිටින දිළිඳු ජන සංඛ්‍යාව ද ඉහළ බවයි. ඒ අනුව,  දරිද්‍රතා රේඛාව 10%කින් ඉහළ ගිය හොත්, මිලියන 1.34ක් වූ දිළිඳු ජන සංඛ්‍යාව මිලියන 2ක් දක්වා ඉහළ යන බවත්, දරිද්‍රතා අනුපාතය 9.9%ක් වන බවත් ප්‍රකාශිත ය. රට තුළ දුගීභාවයේ ප්‍රතිශතය අවම වී ඇති බවට දත්ත මගින් කියවෙන්නේ, පවත්නා අන්ත දුගීභාවය හෙවත් නිරපේක්ෂ දුගී ජන සංඛ්‍යාව පහත බැස ඇති බවයි. එහෙත්, ශ්‍රී ලංකාව මුහුණදී සිටින විශාලතම අභියෝගයක් නම්, පවත්නා සාපේක්ෂ දුගීභාවය යි. මෙකී තත්ත්වය, රටේ ප්‍රගතිශීලී සංවර්ධනය තුළ කියැවෙන ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ප්‍රගමනයට මෙන්ම මානව අභිමානය පදනම් කොට ගත් පුද්ගල සංවර්ධනය කෙරෙහි ද අභියෝගාත්මක බලපෑමක් ඇති කොට තිබෙන බව අවිවාදිතය. ආර්ථික සංවර්ධනය දෙසින් ගත් කල, වෙළඳපොළ ආර්ථිකය මත බොහෝ දුරට පදනම් වූ දේශපාලනික ආර්ථිකයක් පිළිබඳව අපි කතා කරමු. එහිලා වැදගත් වන්නේ පාරිභෝගිකයින්ය. මෙවැනි තත්ත්වයක් මගින් ශ්‍රී ලාංකික සමාජ දේහය තුළ ඇති කරනු ලබන ආර්ථික හා සමාජයීය බලපෑම ඉහළ වේ.

මෙම තත්ත්වයන් සමස්තයක් ලෙස සැලකිල්ලට ගත් කල, රට තුළ පවතින පූර්ණ දුගීභාවය මෙන්ම සාපේක්ෂ දුගීභාවය මගින් රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බව යටපත් කළ නොහැකි යථාර්ථයකි.  එබැවින්, සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ගයන්ට සමාන්තරව අගහිඟකම් නිසා පවුල් අයවැය තුලනය කරගැනීමට නොහැකිව පීඩනයට පත්වන දරිද්‍ර ජනතාවට වඩාත් පුළුල් අවස්ථා ඇති කිරීම වැදගත් වෙයි. එම අවස්ථා ප්‍රාදේශීය මට්ටමින් හඳුනාගෙන ක්‍රියාත්මක වීමට රට තුළ ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණයක් සඳහා වන ප්‍රවේශයක් අත්‍යාවශ්‍යව තිබේ.

එසේම, පවතින ආර්ථික විෂමතාව මගින් කියවෙන්නේ දිළිඳු ජනතාව වෙත විශේෂ අවධාරණයක් සහිතව රටේ සංවර්ධනය පිළිබඳව නව මානයක් ගොඩනගාගත යුතුව තිබෙන බවය. ආසියානු කලාපය තුළ මානව සංවර්ධන දර්ශකයන්ගේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති ශ්‍රී ලාංකික සමාජය තුළආදායම් පරතරය අවම කොට අභිමානයක් සහ යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ සංවේදීමානව සමාජයක් ගොඩනැගීම පිළිබඳ දැක්මක්යථාර්ථයක් වනු දැකීමට සමත්පුළුල් සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාවය මේ වන විට ශ්‍රී ලාංකික සමාජය අභියසට පැමිණ තිබේ. ඒ සඳහා වන ක්‍රියාත්මක මෙහෙයුමක් හා ප්‍රතිඵල පදනම් කොට ගත් දිළිඳුකම පිටුදැකීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක්දැනට ක්‍රියාත්මක රාජ්‍ය සහ රාජ්‍ය නොවන දිළිඳුකම පිටුදැකීමේ බහුවිධ වැඩපිළිවෙළට සමාන්තරව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එය නම් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයයි.